Friday, 9 August 2019

(බුදු) සාදුගෙන්........

(බුදු) සාදුගෙන්........

ඉපදීම දුකක් කියලා බණ කියපු මම
සන්සුන් සිතින් පියුමක වැඩ හිඳිනසඳ
නූපන් ආත්මයක් කුස තුල හොවාගෙන
නුඹ ඇවිදින් මල් වට්ටියකුත් උස්සගෙන..

------------------------------------------------------------

ඒකෝමත් එක දවසක හිමිදිරි උදයක
ලොවේ හිතසුව පිණිස වැඩ ඉන්නකොට
නුඹ වැනිම ඇයත් දරු ගැබක් උස්සගෙන
ආවා පිරිපුන් උපතක් හිතින් පතාගෙන..

අටලෝදහම අප සැමටම උරුම බව
සංසාර ගමනක අපි සේරම විඳින දුක
ලියලා තිබුනත් මා කියුදේ පොතක බණ
තේරුම් ගත්තානම් අද නුඹ මෙතන නැත...

යුග දිවියක අද නුඹ ගෙවනා මදුර සැප
අත්හැර යන්න කිසිදින මා කියා නැත
මැදුම් පිලිවෙත ගැන කියලා හදා හිත
පිටමං කලා ඇය මම පිරිත් නූල් බැඳ...

දින සති මාස අවුරුදු ගෙවෙන කල
පුරුදු පරිදි මෙත්සිත් මල් පිපෙන විට
උවැසි උවැසියන් දස දහසක් අතරතුර
මෙහෙණක් සිටියා හිඳගෙන පඩිය උඩ..

හිමියනි මීට කලකට පෙර අතීතෙක
අම්මා මාව ඇගෙ කුස තුල තියාගෙන
පඩිපෙළ නැග ඇවිත් මල් ආසනේ ලඟ
විවරණ අරන් දුනි මට ලෝකය දකින්නට...

දුකින් පිරුණු සැපට ඇලුණු සංසාරයක
තවදුරටත් බෑ මට මැරී මැරී උපදින්නට
බෝධිය පිස එන සීත මදනල පහස විඳ
ඉන්නම් කියා ඇහුවා පාර යන්න නිවන්මග..

සැක හැර දැනගතිමි කවුද ඒ යන්න වග
පෙරදින අම්මෙක්ගේ කුසයේ ගැබක් තුළ
සැඟවී සිටිමින් බුදු බණ පදයක වින්ද සුව
කලලය ඇවිල්ලා යන්නට මොක්පුරය වෙත..

අවුරුදු ගණනක් නුඹ දරුවකු නැතිව සිට
ගන්දබ්බ පරානයක් කුසකට පැමිණි කල
ඉපදීම දුකක් බව කිමෙන් දැන් පලක් නැත
අංගුලිමාල සූත්‍රය නුඹ රැකුමට දෙසා ඇත...

අනියත දහම දිවියේ සැමටම උරුම ඇත
හෙට දින නුඹ මම කවුරුත් මෙතන නැත
නුඹේ කලලයත් චීවරයක් පොරවා ගෙන
හෙටදින මේ පඩිපෙල නැග්ගත් පුදුම නැත...

✒ ධනංජය සෙනවිරත්න


#බෟද්ධ #ලංකා #lanka #Google #Fecbook
       

No comments:

Post a Comment