Sunday, 24 November 2019

තනි වෙච්ච වෙලාවක....

පොලීසියේ  #ගන්ධබ්බයෙක් ගේ (ගෙදර යන්නට නිවාඩුවක් නැති...) මනෝභාවය....
තනි වෙච්ච වෙලාවක....🥺🥺
=========================🐈🐈

රිදුම් දෙන ගත මදක් සනසන්නට
ඉඩක් දෙනවද මටත් ඈඳි ගන්නට
එල්ලගෙන මේ යකඩ බොත්තම් ටික
ඇවිද ගන්නට බෑ හැට පැනපු මට....

ඔතනතුරු මම මේ බුලත් විට
කියන වද මට උඹේ වත ගොත
වයස නෑ නොවැ පේන්නට බොට
පැටව් එක්කලා පූසි ගෙදරද..

උනත් ආගන්තුක නුඹට මම අද
මගේ උනුසුම උඹ හොයන කොට
මතක් උණි මට ගෙදර දොර ලඟ
පාර බලනා මගෙ පැටව් ටික...

කාත් කවුරුවත් නැතුව උඹ අද
අන්ත අසරණ වෙලා කරුමෙට
ගෙයයි පොලිසියයි අතර මැද අද
මමත් ගන්ධබ්බයෙක් එදා පව් කල..

අපිරිසිදු නැති මුත් මගේ අත් දෙක
රවයි මිනිසුන් මගේ මේ ඇඳුමට
දැනෙන පාලුව දුක තුනී වෙන්නට
ටිකක් ඉඳපං #පුතේ මගේ තනියට...

________________________ධනා.






Sunday, 3 November 2019


#උනහපුලු තාත්තෙකුගෙන්
අකාරුණික වැසි දියට ආයාචනයක්.....😢🥺
_____________________________________________

ලොවේ මට ඇති එකම සම්පත
හැංගුවත් මම නුඹෙන් බේරන්නට
පෙඟී ගිය උගේ ඇඟිලි බිත්තර
එක්ක ඌ ගැහෙනවා හොඳටම...

අද ලැබුණු මේ දවසෙ සොච්චම
අරන් දුන්නු ඒ, උගේ විස්කෝතුව
නංගිත් එක්කලා බෙදන් කන්නට
දකින හීනේ බොඳ කරනවද නුඹ...

ඉන්න බැරිනම් තවත් ඉවසගෙන
තෙමාපං ඉතින් දිලිඳු මේ හදවත
පෙඟුණු දෑතින් ඌ තුරුල්වීගෙන
රත් කරයි මා,උගෙ කඳුළු දිය කර...

ඒත්...

ඇයිද වැහි බිඳු මෙසේ සැර වැර
නැතිඳ අනුකම්පා මටත් නුඹ ලඟ
මගේ උන හපුලු, පැටියත් අරන් මම
කූඩු වෙනකම් මදක් ඉනු මැන...

ධනා....